Saturday, June 1, 2013

දහවන පියවර - පියාඹන්න අවසරයි ! (සමුගැනීම)

අපි මේ සටහනේ නමවන පියවර දක්වා පිළීවෙළින් කියාගෙන ආවේ කැනඩාවට එන්නට සූදානම් වන අයෙක් තම අරමුණ කරා පියවරෙන් පියවර ආ යුතු ආකාරය ගැන . එද කතා කරන්න වෙන්නේ ඒ අරමුණ ඉට කරගැනීමේ අවසාන පියවර , ඒ කියන්නෙ නීත්‍යානුකූල ලෙසින් කැනඩාවට පය තබන්නට පියාඹන්නේ කෙසේද කියන එක.

දැන් ඔබ පෙර ලිපියක කියූ පරිද්දෙන් Passport , Visa වගේම ගුවන් ගමන් ටිකට්පත් එහෙමත් සූදානම් කරගෙන නම් , ඔබට ගුවන් ගත වීමට නියමිත දිනය වේලාව ගැන නිසා අවබෝධයක් තිබෙනවා ඇති . එහෙම නම් පිටත් වීමට නියමිත දිනට පෙර සිටම පටන් ගනිමුකෝ ..


මේ වන විට ගෙනයා යුතු සියළු කළමණා ගමන් මළු තුල ගබඩා කරලා , ලේබල් කරලා අවසානයි, අතේ ගෙනයා හැකි Carry on Bagage වල අවශ්‍ය කරන ලියකියවිලි , බලපත්‍ර, ටිකට් ඔක්කොම පිළීවෙලකට තැන්පත් කරගෙන අවසන් . ගමනට ගැලපෙන ඇඳුම් පැළඳුම් එහෙම (විශේෂයෙන්ම ඔබ එන්නේ සීත සෘතුව කාළෙක නම් ල ජැකට් එහෙම) සූදානම් . දැන් ඉතින් අද කරන්න තියෙන්නේ ටිකක් විවේක ගන්න එක , මොකද හෙට දවසේ ලොකු ගමනක් , පැය 18-20ක් විතර අවම වශයෙන් ගුවනේ සහ අතරමග ඉන්න වෙන විශේෂයෙන්ම රටවල් දෙක අතර ගමන් කිරීමෙදි ඇති වන Jet Lag එකත් එක්ක ටිකක් ඇගේ පතේ අමාරුගතියකුත් එන්න පුළුවන් තරමේ වෙහෙසකාරී තත්ත්වයක් නිසා පෙර දා ලබන විවේකය හරිම වැදගත් . ඒත් ඉතින් මෙහෙම කිව්වට එදා තමයි වැඩිම අවිවේකි දවස නේද ? ....කොහොම වුනත් දරුවන් එක්ක එනවා නම් අඩුම තරමේ දරුවන්ටවත් නිසා නින්දක් , විවේකයක් ලබා දෙන්න.

ඒ අය විවේක ගන්න අතරේ , ගමනේ මූලිකයට කරන්න වැඩ කටයුතු රාශියක් තිබෙනවා. ඒ තමයි ගෙනයන අඩුම කුඩුම සියල්ල නිවැරදිද කියන අවසාන සොයා බැලීම් කරන එක , ඊළඟ වැදගත් දේ තමා හෙට ගුවන් තොටුපලට යන ක්‍රමය පිළිබඳ තහවුරු කරගන්න එක. පොදු ප්‍රවාහන සේවකින් නම් බස් එක තිබෙන කාළ වේලාවන් ( දැන් කාළේ හැටියට නම් බස් ස්ට්‍රයික් එහෙම තියේද කියන එකත් ) , පෞද්ගලික වාහනයකින් නම් ඒ පහසුකම නිවැරදිම තහවුරු කර ගැනීමත් තමන්ගෙම වාහනේකම් , හෙට ගමනට සුදුසු තත්ත්වයේ තිබෙනවාද කියන එකත් . මෙහෙම කියන්න හේතුව Air port එකට යන්න හදන වෙලාවේ මේ අවස්ථාවන්ට අදාලව හිතුවේ නැති ප්‍රශ්න පැන නැගීම නිසා , පළමු ගුවන් ගමන “යකාගෙ ගමනක්“ වගේ කරගත් මිතුරන් කිහිප දෙනෙක්ටම සිදුවූ ඇබැද්දි නිසාමයි .

මේ කටයුත්තෙන් පස්සේ ඔබ කළ යුතු තවත් කරුණක් තිබෙනවා ඒ තමයි ඔබට නියමිත ගුවන් යානයේ පැමිණිම පිළිබඳව තහවුරු කරගැනීම , ඒ සඳහා http://www.airport.lk වෙත ගිහින් Departing ඔස්සේ ඔබ යොමු වන ගුවන් තොටුපල සහ අදාල ගුවන් යානා අංකය ලබා දීලා , ගමන පිළිබද තහවුරු කිරීමක් කරගන්නට පුළුවන් .මෙතැනදි යොමුවන ගුවන් තොටුපල විදියට කැනඩාව දෙන්නට බැරි වේවි , ශ්‍රී ලංකාවේ සිට සෘජුවම කැනඩාවට යොමුවන ගුවන් යානා නොමැති වීම ( මා දන්නා තරමින් , මෙය වැරදි නම් නිවැරදි කිරීමේ අයිතිය ඔබ සතුයි) . ඒ නිසා ඔබේ ගුවන් ටිකට් පතේ සඳහන් යොමුවන පළමු ගුවන් තොටපලේ නමයි මෙහි සඳහන් කළ යුතු , උදාහරණ්‍යක් ලෙසින් ඔබ එන්නේ ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපල ඔස්සේ නම් , ගුවන්යානා අංකය සමඟලබා දිය යුතු එය. මේ ක්‍රමය මඟින් ඔබට අදාල ගුවන් යානාවේ යම් පමාවක් අවලංගු වීමක් වෙදැයි දැන ගන්නට පුළුවන් . ඒත් මේ තොරතුරු ලැබෙන්නේ පැය 12කට අදාලව පමණක් නිසා ඒ ගැනත් අවධානය යොමු කිරීම වැදගත් .

දැන් ඉතින් විවේක ගන්න ... .

අද ඔබ ගුවන්ගත වන දවස ! ..එහෙම නම් ගුවන් ගමන් ටිකට් පතේ සඳහන් වෙලාවට අවම වශයෙන් පැය 3කටවත් කළින් ගුවන් තොටුපලට  යන්න ලැහැස්ති වෙන්න . එහමනම් වෙලාව හරි , ඔක්කොමල ලැහැස්තියිනේ ....


පැය තුනකට විතර කළින් ගුවන් තොටුපලට ලඟා වුනු ඔබ , එහි පිටත්වීමේ පර්යන්තය තුලින් ඇතුළු වෙත්දි හිතට දැනෙන සතුට , දුක මුසු වුනු හැඟීම කුතුහලය සහ පවතින වටපිටවත් එක්ක එන කාංසා සහගත තත්ත්වය සාමාන්‍යයි , විශේෂවෙන්ම මේ පළමු ගුවන් ගමන නම් මේ හිතේ ඇති වන තිගැස්ම ගැන කියන්න ඕනද? ..කෙසේ වෙතත් , ඒ සාමාන්‍ය තත්ත්වය හැරෙන්නට , වෙනත් බයක් ඇති කරගන්නට ඕන නැහැ , හේතුව , අද ලෝකයේ ඉහළම තත්ත්වයේ ගුවන්තොටුපල වල තිබෙන පහසුකම් බොහොමයක් අපේ කටුණායක ගුවන් තොටුපලේ තිබෙනව ( මත්තල ගුවන් තොටුපල ගැන නම් අත්දැකීමක් නැති නිසා ලියන්න යන්නේ නැහැ) ඒ නිසා ඔබ කළ යුතු වැදගත්ම දේ , ගුවන් තොටුපලේ තිබෙන හදුනාගැනීමේ පුවරු , තොරතුරු දැනුම් දීමේ සංඥා , යොමු කිරීම් නිසි ලෙස අනුගමනය කිරීම , ඒ වගේම ශබ්ද විකාශන මඟින් දැනුම් දෙන දේ පිළීබඳව නිසි අවධානයෙන් සිටීම . ඒ වගේම අදාල ප්‍රෙද්ශ වල රාජකාරියේ යෙදී ඉන්න , ගුවන් හමුදා සහ ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරින් ගෙන් වුනත් ඔබට අවශ්‍ය මග සොයා ගැනීම කරන්නට පුළුවන් .

ඒ වගේම මෙන්න මේ ලිංක් එක දිගේ ගිහින් ගුවන්තොටුපලේ සාමාන්‍ය රටාව ගැන පොඩි අවබෝධයක් ගන්නත් පුළුවන් .http://www.airport.lk/getting-arround/departure_guide.html

( අපේ සිංහල බ්ලොග් පරිශ්‍රෙය් තිබෙන “අපේ අහස“ බ්ලොග් සටහනේ තිබුණා  කටුනායක ගුවන්තොටුපලට ගියා වගේම දැනෙන තරමේ වැදගත් සටහනක්, , එය ලියන ඉෂාර ගුණවර්ධණ මිතුරාට ගෞරවය පුද කරමින්  එම ලිපිය ඔබ වෙත යොමු කරන්නේ තවත් මේ වටපිටාව ගැන දැන ගෙන හිත නිදහසේ ගමන යන්නටයි http://apeahasa.blogspot.ca/2011/01/blog-post.html )



බෝඩින් පාස් එකක් (අන්තර්ජාලයෙන් )
මේ ගමනේදි ඔබ මුළින්ම යොමු වන වැදගත්ම තැන වන්නේ Check-in Counters , මීට පෙර අවස්ථා කිහිපයකදි ඔබේ Passport එක පරික්ෂා කිරීමක් සහ ගමන්මළු සහ දේහ පරික්ෂාවක් සිදුකෙරෙනවා.
ඔබේ ගුවන්ගමනට අදාල Check-in Counter වෙත යොමු වුනාට පසුව සිදුවන්නේ , ඔබේ ගුවන් ගමන් බලපත්‍රය  සහ ටිකට් පත පරික්ෂා කර , Boarding Pass නිකුත් කිරීමත් Baggage කිරා බලා , ඒවාට ඔබේ විස්තර සඳහන් ස්ටිකර් අලවා , Carry-on baggage එක ඔබටත් , Chack-in baggage එක ගුවන් යානයටත් යොමු කිරීම ....මෙතැනදි ඔබට ඔබේ පිටත් වීම පිළිබඳ තොරතුරු සටහන් කරන්නට පත්‍රිකාවක් සම්පුර්ණ කර අදාල නිලධාරින්ට භාර දියු යුතුයි ,  ඒ පියවරෙන් පසු ආගමන විගමන අංශයේ නිලධාරින් Passport , වීසා පරික්ෂා කර ගමන් බලපත්‍ර යේ  වීසා පිටුවේ ," Departed " මුද්‍රාව තබා ඔබට නැවත ලබා දේවි . ... දැන් ඔබ මුලින් කී විදියට පැය තුනක් විතර වේලාසන ආ කෙනෙක් නම් , ටික වෙලාවකට “නිදහස්“ , ඒ කිවේ දැන් ඔබ  ඔබේ බෝඩින් පාස් එකේ සඳහන් Gate අංකය දැක්වෙන යොමු කිරීමේ මග සළකුණු ඔස්සේ නියමිත Gate අංකය සහිත ස්ථානයට යොමුවෙන්නට ඕන . නියමිත වෙලාවකට කළින් නම් ඔබ , ටික වෙලාවක් ඔය ඉස්සරහ තිබෙන පුටුවක වාඩි වෙලා විවේක ගන්න පුළුවන් . හැබැයි , අදාල gate එක අසළ තිබෙන රූපවාහිනි තිරයේ සඳහන් වන තොරතුරු ගැන අවධානයෙන් ඉන්න . මොකද එහි සඳහන් වෙනවා ඔබේ Boarding ආරම්භ කෙරෙන වෙලාවන්. දැන් ඉතින් මේ වෙලාවේ  , ගෙදර අයට එහෙම කතා කරන්න ඕනම නම් , පරිස්සමට ගෙදර ගියාද කියල දැනගන්න ඕන නම් , ඔය බිත්තියේ රඳවා තිබෙන දුරකථනයකින් ඇමතුමක් ගන්න , ටිකක් කතාකරන්න අවස්ථාව .


වෙලාව එනකම් 
Boarding gate open කළාම ඔබට ඇතුළු වෙන්නට පුළුවන් අදාල ශාලාවට , එහිදි ඔබව සහ ගමන් මළු තවත් දැඩි පරික්ෂාවකට ලක් කරල , Passport , Boarding pass ආදිය පරික්ෂා කරලා , ඔබේ ලියවිලි සමඟ ඊට අමතරව , ඔබේ ගුවන් ආසන අංකය සහිත පත්‍රිකා කොටසක් ඔබට ලබා දේවි . දැන් ඔබට තිබෙන්නේ , ගුවන් යානයට ඇතුළු වීම ආරම්භ කරන තුරු ටිකක් නිවී හැනහිල්ලේ වාඩි වෙලා ඉන්න එක . පැය භාගයක් වගේ ඇතුලත ගුවන්යානයට ඇතුළු කිරීම ආරම්භ කළාම , ඔබට පුළුවන් ඔබට නියමිත ගුවන් ආසනය වෙත යොමු වෙන්නට , හැම ආසනයකම ඉහළ ආසන අංකය සහ අකුර සඳහන් කරල සහ විදුලියෙන් ආලෝක ගන්වල තිබෙන නිසා ආසනය සොයා ගන්න අමාරු වෙන එකක් නැහැ , කෙසේ වෙතත් අදාල ගුවන් සේවිකාවන් ඊට ඔබට උදව් කරන නිසා තවත් පහසුවේවි . දැන් ඉතින් , ඔය අතේ තියෙන බෑග් එක ඔබේ හිසට ඉහළින් ඇති ලොකරයට දාල , හොඳින් වහල අසුන් ගෙන , ආරක්ෂක පටි පැළඳ ගන්න එකයි ඇත්තේ . ඒ පිළිබඳව වගේම ගුවන් ගමන් පිළිබඳවත් , හදිසි අවස්ථාවකට මුහුණ දෙන ආකාරය ආදී සෑහෙන තොරතුරු ප්‍රමාණයක් ඔෆබ් ගුවන් සේවිකාවන් විසින් ලබා දෙනවා . ඒ කටයුත්ත අවසානයේ සියල්ල සම්පුර්ණ නම් , ඔබේ ගුවන් යානයේ ගුවන් නියමුවරයා විසින් ඔබ අමතමින් , සුබ පතමින් ගමනේ තත්ත්වය පිළිබඳ දළ පැහැදිලි කිරීමක් කරනවා. ඒ කියන්නේ තවත් සුළු මොහොතකින් ඔබ මේ රටේ සුවඳන් , උණුසුමින් මිදෙන්නයි හදන්නේ ...කල්පනාවෙන් ඉන්න , ගුවන් යානය වේගයෙන් ඉදිරියට යනවා ඔබ දැනේවි , ඒ වේගය වැඩිවෙත්දි හදවතේ වේගයත් වැඩිවෙනවා වගේ දැනෙනවද ? ...තව මොහොතකින් ගුවන්යානය , ගුවනට නැගෙත්දි ඔබට දැනෙන “වෙන්වීමේ වේදනාව , මුසුවුනු සතුට ( හෝ කියාගන්න බැරි හැඟීම) , කවදාවත්ම අමතක වන එකක් නැහැ .

මේ ගුවන් ගමන් ආරම්භය තුල ඔබට ආහාර පාන , තුවා , පොරෝනා වගේම වීඩියෝ , ගීත ශ්‍රවණය කිරීමේ වගේ පහසුකම් ලැබෙනවා . පොඩ්ඩන්ට නම් ඉතින් වීඩියෝ ගේම් එකක් හරි කාටුන් එකක් හරි දාගත්තනම් ඉතින් ඉන්නෙ කොහෙද මතක නැතිවේවි .

මෙතැන් සිට පැය 18-20කට විතර පස්සේ ඔබට ඇහෙන්නෙ , අප තවත් සුළු මොහොතකින් , කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොටුපල වෙත ළඟවෙනවා , මේ අවට කාළගුණ තතත්වය .......“ .......
මේ පණිවිඩයෙන් විනාඩි කිහිපයක් පසු ඔබ ඇතුළුවන්නේ , කැනඩා රාජ්‍යය වෙතයි .


අප එනතුරු මග බලා සිටි සහෘද මිතුරා !  
කෙසේ වෙතත් ගුවන්තොටුපලේ තවත් පැයක් පමණ ගත කරන්නට වේවි , හේතුව දැන් ඔබට සිදුවේනවා කැනඩා ආගමන අංශයේ නිළධාරින් සමඟ කතාබහකට යොමුවන්නට , ඔබ ආ කාරණය , ඔබ සතුව ඇති මුදල් ප්‍රමාණය වගේම , කැනඩාව තුල ස්ථීර ලිපිනයක්(මිතුරෙක්ගේ) තිබේනම් එය පිළිබඳවත්   , තවත් සුහද කතාබහකට අවස්ථාව ලැබීමෙන් පසුව Arrival ඒකකය ඔස්සේ ඔබට ගුවන් තොටුපලෙන් ඉවතට එන්නට අවස්ථාව ලැබේවි . ඔබගේ පැමිණීම බලාපොරොත්තුව අයෙක් සීටීනම් මේ  ,ඔහු හෝ ඇය හමුවන අවස්ථාව .  එසේ කිසිවෙක් ඔබව හමුවන්නට නැත්නම් , ඔබට පුළුවන් ගුවන්තොටුපල පිටත්වීමේ පර්යන්තයේ ටැක්සි සේවාවක් මඟින් ආසන්නයේ තිබෙන ,මොටෙල් එකකට යන්නට පුළුවන් , එහි දින කිහිපයක් රැඳී ඉදිත්දි ,  ඔබට නැවතීමට සුදුසු නිවසක් සොයාගන්නට පුළුවන් වේවි. එහෙම නැත්නම් ඔබේ ලැප්ටොප් පරිගණකය , නොමිලේ වයිෆයි සේවාව ලබා දෙන , ප්‍රෙද්ශයේ පුස්තකාළය , නැත්නම් ප්‍රජා මධ්‍යස්ථානව වගේ තැනකට අරගෙන ගිහින් අන්තර්ජාලය ඔස්සේ ඔබට ගැලපෙන තැනක් සොයාගන්නටත් පුළුවන්. ඔබට පරිගණකයක් නැතත් කිට්ටුවම තිබෙන New comer Center එකට ගියොත් මේ ඔක්කොම වගේ නොමිලේ කරගන්නට පුළුවන් . කොහොම වුනත් නවාතැනේ දිගටම රැඳෙන්නෙ නැතිව , ඇඟේ මහන්සිය අඩුවුනාට  ටිකක් වටපිටාවෙ ඇවිදල බලන එක , ටිකක් පරිසරයට හුරු වෙන එක වැදගත් . එය අළුත් නවාතැනට ඉක්මණින් හුරු වන්නටත් උපකාරයක් වෙනවා. මතක ඇතිව යන්නම ඕන තැන් ටිකක් විදියට , New comer center , පුස්තකාලය , කිට්ටුව තිබෙන ග්‍රොසරිය , කියන්නම පුළුවන් , මතක තියා ගන්න , මේ හැම තැනකට යත්දිම තමන්ගාව පාස්පෝට් එකයි , අනෙක් සංක්‍රමණ ලියකියවිලි ටිකයි තිබෙන්නම ඕන . ඒ වගේම සල්ලි ටිකක් ඩොලර් එකේ දෙකේ ඒවාට මාරු කරගෙන ඉන්න එක පහසුවක් , විශේෂයෙන්ම බස් එකේ යන්න ඉන්නවා නම් . එහෙම නම් දැන් ටිකක් විවේක පාඩුවේ ඇවිදල බලල එන්නකෝ රට තොට ගැන ..

ඉතින් ඊට පස්සේ ................!


මෙතැන් සිට කතාවේ ඉතිරිය ඔබටම බාරයි ...හේතුව ..................දැන් ඔබ කැනඩාවේ ස්ථිර පදිංචිකරුවෙක් ! 

( මෙහෙම කීවේ “කැනඩාවට එන්නට මඟ“ සටහනේ මුලිකම අරමුණ වුනේ , කැනඩාවට ස්ථිර පදිංචිය සඳහා ආ යුතු මග පිළිබඳව පැහැදිළි කිරීම නිසා ) ...


එසේනම් අවුරුද්දකට ආසන්න කාළයක් පුරාවට ආ , “කැනඩාවට එන්නට මග“ සටහනට තාවකාළික විරාමයක් තබන්නට මොහොතයි මේ . ඉතින් , මෙතෙක් මා හා එක්ව සිටි ඔබ සැමට තුති පුදමින් , සමුගනිමි . ..කෙසේ වෙතත් මෙය තාවකාළික සමුගැනීමක් ලෙස සටහන් තබන්නේ , කැනඩාවට නීත්‍යානුකූලව පැමිණීම සහ ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳව ඔබට දැන ගැනීමට යමක් ඇත්නම්  ඉදිරි දිනකදි ඒ සඳහා දන්නා තරමින් පිළිතුරක් ලබා දෙන අරමුණ ඇති නිසාමයි .